ආරක්ෂක අමාත්‍යංශයට රූපවාහිනීය පවරා ගැනීම "ඡන්දයට බලපෑම් කළ හැකි තීරණයක්"‍

- Friday, September 20, 2019

ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීම මේ වනවිට බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්වෙමින් තිබේ.

ජනාධිපතිවරයා විසින් සඳුදා (සැප්තැම්බර් 09) අංක 240/2 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගනු ලැබිණි.

මෙය, රුවන් විජයවර්ධන අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරය වෙනස් කිරීමට ගත් උත්සහයේ දිගුවක් ලෙස සැලකේ.

ජනාධිපතිවරයා මහජන සේවකයෙක් ද?
"මීළඟ ජනපති කිසිවක් කළ නොහැකි පුද්ගලයෙක්"
ඒ පිළිබඳව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් විජයවර්ධන අමාත්‍යවරයා පැවසුවේ, "ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා ලෙස 2019 පෙබරවාරි 22 වැනි දින ඔබතුමා හමුවේ දිවුරුම් දීමෙන් අනතුරුව අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් පාඩු ලබමින් තිබෙන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වත්මන් පරිපාලනය ඉවත් කරමින් සුදුසු දක්ෂ හා කාර්යක්ෂම සභාපතිවරයෙකු පත්කිරීමට මා විසින් අවස්ථා කිහිපයක දී උත්සහ කළ අතර ඔබතුමා එම සියලු අවස්ථාවන්හීදී විවිධ හේතු දක්වමින් ඊට බාධා කළ බව ඔබ තුමාට පෙන්වා දෙමි," යනුවෙනි.

මාධ්‍ය නිදහස සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන සීතා රංජනී පවසන්නේ ජනාධිපතිවරයා ඔහුගේ යහපාලන පොරොන්දු කඩ කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කර ඇති බවය.

"මේ වෙනකොට ඡන්දයක් ඔන්න මෙන්න තියෙන වෙලාවක්. එක අතකින් ඡන්දයට බලපෑම් කළ හැකි තීරණයක්. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතනයකින් අයුතු ප්‍රයෝජන ගැනීමට කළ දෙයක් විදියට සලකන්න පුළුවන්. ඔහු 2018 ඔක්තෝබර් 26 වෙනිදා කරපු වැඩෙත් එක්ක, ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තත් එක්ක ඔහු ආශීර්වාද කරන තව අය ඉන්න බව තේරෙනවා. ඒක රටම දන්නවා," සීතා රංජනී පැවසුවාය.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විධායක සභික සහ හිටපු සභාපති ලසන්ත රුහුණගේ පවසන්නේ, "යහපාලන ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ ජනාධිපතිවරයාගේ පාර්ශවයයි අගමැතිවරයාගේ පාර්ශවයයි එකතු වෙලානේ මේ ආණ්ඩුව හැදුවේ. එතකොට මුල ඉඳන්ම මේ අමාත්‍යංශ බෙදා ගැනීමේ ඉරිගසා ගැනීමක් තිබුණා. මේක ශ්‍රී ලංකා අමාත්‍යවරුන් කරනවා මේ අමාත්‍යංශ ටික යුඑන්පී එක කරන්නේ කියලා. ජනමාධ්‍ය කියන විෂය එක්සත් ජාතික පක්ෂයට තමයි දීල තිබුණේ. නමුත් ලේක්හවුස්, අයිටීඑන්, රූපවාහිනිය, සහ ගුවන්විදුලි සංස්ථාව යන ආයතන හතර, දෙක දෙක බෙදා ගෙන හිටියා. එතකොට ඇත්තට ඇමතිවරයා කවුරු හිටියත් ඔහු ආයතන දෙකක පාලනයට මැදිහත් වෙද්දී ජනාධිපතිවරයාගේ පාර්ශවය අනෙක් ආයතන දෙක පාලනය කළා."

නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් 26 වෙනිදා මතු වූ බල අර්බුදයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ගැටුම උත්සන්න වීම ද වර්තමාන තත්ත්වයට හේතු වූ බව රුහුණගේ පෙන්වා දෙයි.

'යහපාලන ආණ්ඩුව' යටතේ ජනමාධ්‍ය විෂය හා රූපවාහිනිය:

2015 දී 'යහපාලන ආණ්ඩුව' බලයට ඒමෙන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යවරයා වූයේ ගයන්ත කරුණාතිලක ය. එය කැබිනට් ඇමති තනතුරක් විය.
2017 වසරේ මැයි මාසයේදී මංගල සමරවීර ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්විණි.
2018 වසරේ මැයි මාසයේදී, ඔහු විසින් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක වන ඉනෝකා සත්‍යාංගනී රූපවාහිනියේ සභාපති ධුරයට පත් කරනු ලැබිණි.
2019 පෙබරවාරි මාසයේදී රුවන් විජයවර්ධන ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කෙරිණි. නමුත් එය කැබිනට් නොවන ඇමති තනතුරක් විය. මේ වනවිට සිව් වරක් රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය වෙනස් කිරීමට අමාත්‍ය විජයවර්ධන විසින් ප්‍රයත්න දරනු ලැබුවද ඒ සියලු උත්සහය ව්‍යර්ථ වී තිබේ.

දැන් මොකද වෙන්නේ?
වර්තමාන සභාපතිනිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයෙකු මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විධායක සභික කුමාර අලගියවන්න පැවසුවේ, "ඇය රූපවාහිනී සංස්ථාවේ ප්‍රගමනයට කිසිවක් කරලා නෑ. නමුත් ඇය සොරකම් කරන්නේ නෑ" යනුවෙනි.

"සභාපති තනතුර වෙනස් කළාට අපිට ගැටලුවක් නැහැ. මේ ආයතනය ගොඩ දාන්න දක්ෂයෙක් අවශ්‍යයි. නමුත් ඒ සඳහා ඇමතිවරයා කටයුතු කරන අකාරයෙත් ප්‍රශ්න තිබෙනවා," අලගියවන්න සඳහන් කළේය.

"විශේෂයෙන්ම මේ පත් කරන්න යෝජනා කර තිබෙන පුද්ගලයා පිළිබඳව අපිට ප්‍රශ්න තිබෙනවා."

කෙසේ වුවද, මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කතා කළහොත් ජනාධිපතිවරයාගේ පවරා ගැනීමේ පියවරට තමන් විරුද්ධ බව අලගියවන්න පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සම්බන්ධව ස්ථීර සේවකයින් 800කට ආසන්න පිරිසක් ද ඇතුළුව 1300ක් ඉක්මවූ සේවක සේවිකාවන් පිරිසක් සේවය කරන බව ද ඔහු සඳහන් කළේය.

"ජනමාධ්‍ය විෂය සහ ආරක්ෂක අමාත්‍යාංශ විෂය එකිනෙකට නොපෑහෙන විෂයන් දෙකක් වන අතර ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කිරීම රූපවාහිනි ආයතනයේ ජනමාධ්‍යවේදීන්ට තම මාධ්‍යකරණය ස්වාධීනව සිදුකිරීමට නොහැකිවන ලෙස සිදු කරන බලපෑමකි," යනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"එක් අතකින් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතියට මෙම තත්ත්වය බලපෑමක්සේ සැලකිය හැකිවාක් මෙන්ම ජනමාධ්‍යවේදීන් බියවැද්දීම සදහා ගනු ලබන පියවරක ආරම්භයද විය හැක."

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ විධායක සභික සහ හිටපු සභාපති ලසන්ත රුහුණගේ වැඩිදුරටත් පැවසුවේ "ජනාධිපති ධූරයට හිමි බලය වැරදි ලෙස භාවිත කිරීමේ එක්තරා සිදුවීමක් අපට පෙන්වලා තිබෙනවා මේ රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට ගැනීම තුළින්," යනුවෙනි.

කෙසේවෙතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ දියණිය වන චතුරිකා සිරිසේන ෆේස්බුක් සටහනක් තබමින්, "රූපවාහිනිය තමන් අතට ගෙන මාධ්‍ය අවභාවිතය වැළැක්වූ ඔබ තුමාට ස්තුතියි" යනුවෙන් පැවසුවාය.

"දැනට ජනාධිපතිවරයා සහ රජයේ අනෙක් පාර්ශ්වය අතර පවතින මේ බල අරගලයේදී ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මේක බලපෑමේදී අපි හිතන්නේ මෙම ක්ෂේත්‍රය ඇඟිලි නොගසා ස්වාධීනව තිබිය යුතුයි. මැතිවරණ සමයක් එන්නේ. අපේ යෝජනාව වන්නේ මෙම තත්ත්වය ඉක්මනින් නිවැරදි කර ජනමාධ්‍ය අමාත්‍යාංශය කැබිනට් ඇමති තනතුරක් යටතට පත් කිරීම," ලසන්ත රුහුණගේ තවදුරටත් සඳහන් කළේය.
 

Start typing and press Enter to search